Skip to main content

ආනාපාන සති භාවනාව මුල සිට

                   ආනාපාන සති භාවනාව  මුල සිට

අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නා හිමි විසිනි
භාවනා ක්‍රම දෙකකි. ශමථ භාවනා විදර්ශනා භාවනා වශයෙනි. ශමථ භාවනාවෙන් සිතේ එකඟ බව සංසුන් බව වැඩෙයි. කෙලෙස් යටපත්වෙයි. සමහර ශමථ භාවනාවෙකින් උපචාර සමාධි අවස්ථාව තෙක් ද, සමහරෙකින් රූපාවචර අර්පණා සමාධි තෙක්ද, සමහරෙකින් අරූපාවචර සමාධි අවසන් කොට ද සිතේ එකඟ බව වැඩෙයි. විදර්ශනා භාවනාවෙන් ලොව යථා තත්ත්වයට දක්නා නුවණ වැඩෙයි. කෙලෙස් තුනී වෙවී ගොස් සෝතාපත්ති ආදි මාර්ග ඵල අවස්ථාවලට සිත වැඩේ. අවසානේ සියලු කෙලෙස් නසා රහත් බවට පැමිණෙයි.
ආවරණ තුන
භාවනාවෙන් උසස් ඵල ලැබිය හැක්කේ කර්මාවරණ, විපාකාවරණ, ක්ලේශාවරණ යන තුන් බාධකවලින් මිදුණු සැදැහැවත් නුවණැති උත්සහවන්තයා විසිනි.
• විපාකාවරණ යනු ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නොලත් බවය. ද්විහේතුක හෝ අහේතුක ප්‍රතිසන්ධියෙකින් උපත ලත් අයට මෙ අත් බව්හි දී ධ්‍යාන, මාර්ග ඵල කිසිත් ලැබිය නොහැකිය.
• ක්ලේශාවරණයෙන් යුක්තයෝ නම් නියත මිථ්‍යාදෘෂ්ඨිකයෝත්, උභතෝව්‍යංජනකයෝත්, නපුංසකයෝත් ය.
භාවනා වඩනු කැමැත්තහු විසින් පළමු කොට දශ පරිබෝධ (භාවනාව වැඩීමට බාධක ව සිටින කරුණු දහය) දුරු කට යුතු වෙයි. ආවාස, කුල, ලාභ, ගණ, කර්මාන්ත, ගමන්, ඥාති, ආබාධ, ග්‍රන්ථ, සෘද්ධි යනු පරිබෝධ බාධක දහයයි.
මෙහි දැන් කී පරිදි දශ බාධකයන් දුරුකොට භාවනා වඩනු කැමැත්තහු විසින් කල්‍යාණ මිත්‍රාශ්‍රයය ලැබිය යුතු. කල්‍යාණ මිත්‍රාශ්‍රයය යනු භාවනා උපදේශ දෙන ගුරුවරයකු ඇසුරු කිරීමයි.
චත්තා ච වචනක්ඛමො
ගම්භිරං ච කථං කත්තා
නො වාට්ඨානෙ නියොජයෙ
භාවනා වඩන හැමකෙනෙකු විසින්ම පළමු කොට බුද්ධානුස්සතිය ද, ඊළඟට මෛත්‍රී භාවනාව ද, ඊළඟට අශුභ භාවනාව (කායගතාසති) ද, ඊළඟට මරණානුස්මෘතිය ද ටික ටික වේලා ක්‍රමයෙන් වැඩිය යුතුය.
ආනා යනු ආශ්වාස වායුව යි, අපාන යනු ප්‍රශ්වාස වායුවයි. මෙය අරමුණු කොට භාවනා වඩන්නහු විසින් පළමු කොට ශීල විශුද්ධිය ඇති කැරැ ගත යුතුයි. භාවනානුයෝගියා ගිහියෙක් වී නම් පන්සිල්, අට සිල්, දස සිල් යන තමා රිසි ශීලයක් සමාදන්ව ගෙන පිරිසුදු සිල්වතකු විය යුතුයි. පැවිද්දෙක් වී නම් පැවිදි සිල්හි මැනැවින් පිහිටා පිරිසුදු වියැ යුතුය.


• කර්මාවරණ යනු මව මැරීම, පියා මැරීම ආදී ආනන්තරිය පාපයක් කර ඇති බවය.
පරිබෝධ
• ආවාස යනු වාසස්ථානයයි. බඩු බහිරාදියෙන් පිරුණු ගෙය නොයෙක් සම්බාධ ඇති එකෙකි. එවැනි තැන යෝගියාට වාසයට සුදුසු නොවේ.
• කුල යනු නෑදෑ පිරිසය. උපස්ථායක (දායක) පවුල්ය. ඔවුන්ගේ සුව දුක් විමසමින් ඔවුන් ගේ කටයුතු සොයන්නට බලන්නට වීමද භාවනාවට බාධකයෙකි.
• ලාභ යනු සිවුරු පිරිකර ආදී වශයෙන් ලැබෙන දෑයි. පින් ඇති ලාභී භික්ෂු නමට ගිය තැන සත්කාර සම්මාන ලැබෙයි. උපාසක උපාසිකාවරු නානාවිධ පිරිකර ගෙනවුත් ඔහුට පිරිනමති. ගිහියාට ද නෑදෑ යහලු මිතුරන්ගෙන් නොයෙක් තෑගි බෝග ලැබේ. ඒවාට සැලකිල්ල දක්වන්නට ගියොත් භාවනාවට අවකාශ නොලැබේ. භාවනානුයෝගියා ලාභ ලැබීමේ මං කෙරෙන් ඈත් විය යුතුය.
• ගණ යනු පිරිවරයි. පැවිද්දකුට නම් තමාගෙන් ඉගෙන ගන්නා සිසු පිරිසත්, නිතර පාහේ යම් යම් දෑ සඳහා සාකච්ඡාවට එන ගිහි පිරිසුත්ය. ගිහියාට සිය නෑදෑ පිරිස්, ගනු දෙනු කරන්නෝ, මෙහෙකරු පිරිස් ආදිහු ය. ඉගැනුම් භාවනා අරමුණෙහි සිත රඳවා තබන්නට එය මහත් බාධකයෙක් වෙයි. පැවිද්දෙක් වී නම් සිය සිසුවන් අන් තෙර නමකට පවරා තමා එකලා විය යුතු. ගෘහස්ථයා ද දූදරු ආදීනට තමාගෙන් ඉටු වියැ යුතු දෑ සියල්ල සපුරා හෝ අන් සුදුසු කෙනෙකුට පවරා එකලා විය යුතු.
• කර්මාන්ත යනු පැවිද්දකුට නම් විහාරයේ ප්‍රතිසංස්කරණ වැනි දෑය. ඒවා නිමවා හෝ අන් කෙනෙකුට පවරා පැවිදි තැන සියලු වගකීම් කෙරෙන් ඉවත් විය යුතුය. ගෘහස්ථයා ද තමාගේ රැකියා කටයුතු අන්කෙනෙකුට පවරා හෝ නිදහස් විය යුතුය.
• ගමන් යනු තමාගේ හෝ අනෙකකු ගේ කටයුත්තකට ඈතකට යන්නට බැඳී සිටීමයි. එවැනි අවස්ථාවලදී ද ඒ ගමන් ගොස් කටයුත්ත නිමවා හෝ එය අන් කෙනෙකුට පවරා හෝ ඒ බරින් ද නිදහස් විය යුතු.
• ඥාති යනු නෑදෑයෝය. මා පියෝ, ආචාර්යය උපාධ්‍යායයෝ, සහෝදර ආදීහුය. ඔවුනට තමාගෙන් ඉටුවිය යුතු ඇප උපස්ථාන සත්කාර උපකාර ඇතොත්, ඒවා සපුරාලීමට සුදුසු විශ්වාසී කෙනෙකුට පවරා තමා ඒ වගකීමෙන් නිදහස් විය යුතු. ඔහු රෝගාබාධාදියෙකින් පෙළෙත් නම් ප්‍රතිකාර සාත්තු සප්පායම් කොට නිරෝගී වූ පසු ව තමා ගේ භාවනා කාර්ය ඇරැඹිය යුතුය. නැතහොත් ඔවුනට ප්‍රතිකාර සාත්තු සප්පායම් ආදිය කිරීම එයට සමත් විශ්වාසී කෙනෙකුට පවරා තමා ඒ බරින් නිදහස්ව භාවනා කර්මයට බැස්ස යුතු.
• ආබාධ පරිබෝධය යනු තමාට වැළදී ඇති ලෙඩකි. එයට ප්‍රතිකාර කොට සුවය ලබා ගත යුතුය. සුවය ලැබීම දුෂ්කර වී නම් “මම මේ රූප ශරීරයට වහල් නොවෙමි” යි ඉටා, සිතට ධෛර්යය නංවා රෝගය මැඩ, කමටහන් වැඩීමෙහි යෙදිය යුතුය.
• ග්‍රන්ථ පරිබෝධය යනු ධර්ම ශාස්ත්‍ර ඉගැන්මයි. ඉගැනීමෙහි යෙදුණකුට ඉඩ ඇති පරිදි ස්වල්ප වශයෙන් භාවනාවක් කට හැකි වා මිස උසස් ප්‍රතිඵල ලැබෙන තරමට දිගට ම එය පැවැත්විය නොහැක්ක. සෑහෙන තරම් දුරට ඉගෙන, එයින් පසු කමටහන් වැඩීම පටන් ගත යුතුය. නැතහොත් ඉගෙන ගත් පමණින් සෑහීමට පත්ව, ඉගැනීම නතර කොට, භාවනා කර්මයට බැස්ස යුතුය. පොත් පත් ලිවීම ආදී කටයුතුත් මෙසේම අවසන් කොට හෝ නතර කොට භාවනා කර්මයට බැස්ස යුතුය.
• සෘද්ධි පරිබෝධය යනු විදර්ශනා වැඩීමට බාධක වූ ලෞකික සෘද්ධියයි. රූපධ්‍යාන වඩා පරසිත් දැනුම් ආදී කිසි සෘද්ධියක් කෙනෙකු ලබා ගත්තත් එය පිරිහී යෑ නොදී නිතර සමාධියට සම වැදීම ආදියෙන් දුක සේ රැක ගත යුත්තෙකි. ටික දිනක් සමාධිය වැඩීම අත පසු වූවොත් ඒ සෘද්ධිය නැති වී යයි. කිසි ප්‍රමාදයෙකින් කෝපය හෝ රාගය වැනි අකුසල් දහමක් සිතෙහි මතු වුණත් එය නැති වී යෑ හැකියි. එය රැක ගන්නට සිතා, රූපාවචර සමාධිය රැක ගැන්මේ ම ඇළී සිටිය හොත් විදර්ශනා භාවනාවට ඉඩ නොලැබේ. එබැවින් එවැනි කිසි සෘද්ධියක් ලබා ඇති යෝගියා එහි ඇල්ම හැර දමා විදර්ශනාව ඇරැඹිය යුතුය.
කල්‍යාණ මිත්‍රාශ්‍රය
ප්‍රධානම කල්‍යාණ මිත්‍රයා, කර්මස්ථාන දෙන ප්‍රධාන ආචාර්යවරයා, භාග්‍යවත් බුදු රජාණන් වහන්සේයි. උන් වහන්සේ නැති නැත අසූ මහා ශ්‍රාවකයන් ගෙන් කෙනෙකු ආචාර්ය කැරැ ගත යුතුය. එසේත් කෙනෙකු හෝ නොලදොත් අන් කිසි රහත් නමක ඇසුර ලැබිය යුතුය. රහත් නමක්ද නො ලදොත් අනාගාමි කෙනෙකු ඇසුරු කළ යුතුය. අනාගාමියකු නො ලදොත් සකෘදගාමියකු ද එසේ වූ කෙනෙකු නො ලදොත් සෝවාන් වූ කෙනෙකු ගුරු කොට ගත යුතුය.
රහත්හු, අනාගාමීහු, සකෘදගාමීහු, සෝවාන්හු “මම මෙනම් අධිගමයක් ලබා ඇත්තෙකිමි” යි. අනුනට අඟවත් ද? නැත. එහෙත් විමසන්නා විමසුන් වැඩීමෙහි ලැදියාව ඇති කෙනෙකු බව දැන ගත්තොත්. ඔහු කෙරෙහි කරුණාවෙන් ඔහුට උපදෙස් දෙනු පිණිස තමන් ලබා ඇති ආර්යය තත්ත්වය හෙළි කෙරෙත්. එබැවින් කමටහන් වඩනු රිසියහුට ආර්ය පුද්ගලයකු ගේ ඇසුර ලබාගත හැක්ක.
සෝවාන් වූ කෙනෙකුත් සොයා ගත නොහැකි වුවොත් ත්‍රිපිටක ධර්මය අතේ ගැඹුරු දැනුම් ඇති සිල්වත්, ගුණවත්, කාරුණික ආචාර්යවරයකු ගේ උපදෙස් ලැබිය යුතු. ඇසුරු කළ යුතු ආචාර්යවරයා ගේ සැටිය විශුද්ධි මාර්ගයෙහි මෙසේ දැක්වේ:
පියො ච ගරු භාවනිය්‍යො
“ඒ ඇදුරු තෙම සිල්වත් බැවින් කාටත් ප්‍රිය වූ ගරු කටයුතු සම්භාවනීය කෙනෙකි. උපදෙස් දීමේ නොමැලියෙකි. ශිෂ්‍යයා කොතරම් ප්‍රශ්න ඇසුවත් ඒ සියල්ල ඉවසන කෙනෙකි. ගැඹුරු දහම් පද ලිහිල් කොට කියා දීමෙහි හැකියාව ඇත්තෙකි. ප්‍රශ්න කරන, ඇසුරු කරන ශිෂ්‍යයා නො නිසි අතෙක නො යවන්නෙකි.”
මෙහි කී ගුණාංගවලින් යුත් උගත් ධර්මධර සිල්වත් ගුරුවරයකු ගේ ම ඇසුර ලබා ඔහු දෙන උපදෙස් අනුව භාවනාව වැඩිය යුතුය.
ආනාපාන සතිය වඩනු කැමැත්තහු විසින් එය වඩන සැටි ගුරුවරයා ගෙන් අසා දැන ගත යුතුය. කොයි හැටියෙකිනුත් ගුරුවරයකු සොයා ගත නොහැකි වූවොත් භාවනා ක්‍රම පිළිබඳ විස්තර සඳහන් පොත පත කියවා භාවනා මාර්ගයේ මුල මැද අග හොඳට තේරුම් ගෙන එහි උපදෙස් අනුව ඔවුන් වැඩිය යුතුය. භාවනාව පටන් ගන්නට කලින් තමා හඳනා පෙරෝනා වස්ත්‍රාදිය ශුද්ධ පවිත්‍ර කැර ගත යුතුය.
ඊළඟට “අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා” යි කී පරිදි උවදුරු නැති අරණ්‍යයකට හෝ කිසිවකුගෙන් සම්බාධ නැති රුක් මුලකට හෝ කිසිම කෙනකු නොවසන ගෙයකට හෝ පැමිණිය යුතුය. එහි තමා ඉඳීමට නියම කොට ගත් තැන අතුපතු ගා, ශුද්ධ පවිත්‍ර කොට එහි ඉඳ ගැන්මට තණ ඇතිරියක් හෝ කොහු මෙට්ටයක් වැනි දැයක් හෝ අතුරා ආසනය සකස් කැරැගත යුතුයි.
සමහරු දන නමා බද්ධපර්යංකයෙන් හෝ හසරමිණිය ගොතා ගෙන හෝ වැඩි වේලාවක් ඉදිනු නො හැක්කෝය. පුටුවෙක ඉඳීම ඔවුනට පහසුය. එවැන්නා කොන්ද කෙළින් සිටුනා ලෙසට හේත්තු වන පුවරුව ඇති පුටුවෙක කුදු නො ගැසී කෙළින් ඉඳගත යුතුය.
ඇතිරියෙක පැදුරෙක මෙට්ටයෙක හෝ පලක් බැඳ හෝ හසරමිණිය ගොතා ගෙන ඉඳ ගන්නහු ද පිටකොන්ද කෙළින් පිහිටුවා ඉන් ද යුතුය. “මගේ චිත්ත පාරිශුද්ධිය පිණිස ම මේ භාවනා වැඩීම කරමි” යි අධිෂ්ඨාන කළ යුතුය.
මුළු කාලය ම භාවනායෙහි යෙදෙනු නොහැකි අය අඩුම ගණනේ උදේ පැයකුත් සැන්දෑවේ හෝ රාත්‍රියේ පැයකුත් සෑම දා ම භාවනාවට වෙන් කැරැගත යුතුය.
ආරම්භය
බුද්ධානුස්සතිය යනු බුදුගුණ මෙනෙහි කිරීමයි. බුදුගුණ මෙනෙහි කරන්නහු තුළ බුදු රජාණන් වහන්සේ කෙරෙහි මහත් ආදරයක් භක්තියක් ශ්‍රද්ධාවක් ඇති වෙයි. එයින් සිත නිරෝග වෙයි. බුද්ධ වචනය පිළි පැදීමෙහි ධෛර්යවත් වෙයි. “මා අත්බව භාග්‍යවතුන් වහන්සේ නමට පරිත්‍යාග කොට උන් වහන්සේ වදාරා ඇති පරිදි ම භාවනාව වඩමි” යි උනන්දු වෙයි.
මෛත්‍රිය වැඩීමෙන් තමා අවට වසන දෙවි මිනිස් හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර වෙයි. ඔවුන් විසින් රකිනු ලබයි. ඔවුන් ගෙන් ඔහුට කිසිදු හිරිහැරයක් ඇති නොවෙයි.
අශුභ භාවනාව හෝ කායගතා සතිය වඩන තැනැත්තේ තමාට දක්නට ලැබෙන දිව්‍ය රූපයෙකින් වත් මුළා නොවෙයි. ඇතැම් විට මාර පාක්ෂික දෙවියකුට භාවනානුයෝගියකු දක්නට ලැබුණු විට ඔහු නොමඟ යවන්නට දිව්‍ය ස්ත්‍රීන් පෙන්වීම්, දිව්‍ය ස්ත්‍රී වේශයෙන් පෙනී ඉඳ මිත්‍ර වෙන්නට කථා කිරීම් ආදියෙන් ඔහු පොළඹ වන්නට සිතෙයි. දුර්වල යෝගියා අතරමං කරන ඊර්ෂ්‍යා සහගත මිසදිටු භූතයෝ ඇත. අශුභ භාවනානුයෝගියා ඔවුනට නොරැවටෙයි.
මරණානුස්මෘතිය වඩන යෝගියා තමා නිතරම මරණය අතට ම ළං වෙන කෙනකු බව සැලැකීමෙන් භාවනාවෙහි වඩාත් උනන්දු වෙයි. නොමඟට නො වැටෙයි. කුසීත නොවෙයි.
බුද්ධානුස්මෘති ආදී සතර කමටහන් වැඩීම මෙසේ මහත් අනුසස් ඇති බැවින් ආනාපන සතිය වඩන්නට කලින් ඒ කමටහන් සතර ගුරු උපදෙස් ලබා ටික ටික වේලා වැඩිය යුතුය. එයින් පසු ආනාපාන සතිය වැඩීම පටන්ගත යුතුය.
ආත්මසන්නිර්යාතනය භාවනා වැඩීමට පළමුවෙන් යෝගියා විසින් තමාගේ ආත්ම භාවය බුදුරජාණන් වහන්සේට හෝ කර්මස්ථාන දෙන ආචාර්යවරයාට සිතින් පරිත්‍යාග කළ යුතුය.
සමහර විට භාවනායෙහි යෙදී ඉන්නහුට භයානක අරමුණු පෙනෙන්නට වෙයි. හේ එබඳු අවස්ථායෙහි දී “මම මගේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේට පරිත්‍යාග කෙළෙමි” යි හෝ “මගේ ආචාර්යපාදයනට පවරා ඇත්තෙමි” යි හෝ සලකා බිය නොගෙන, ඒ පෙනුණු දෑ ගැන තැකීමක් නොකොට, ඒ අරමුණු නොතකා හැර භාවනාව දිගට ම කැරැගෙන යෑමෙහි සමත් වෙයි.
ආනාපාන සමාධිය
සතිපට්ඨාන සූත්‍ර දෙක්හිත් (මැදුම් සඟියේ), ආනාපාන සති සුත්‍රයේත්, ආනාපාන සතිය සඳහන් කරන අන් තන්හිත් භාවනාරම්භය දක්වන භාග්‍යවතුන් වහන්සේ “සො සතො’ ච අස්සසති සතො’ ච පස්සසති” යි වදාළ සේක. එහි අදහස “හේ සිහි ඇත්තේම හුස්ම (ඇද) ගනී. සිහි ඇත්තේ ම හුස්ම පිට කෙරෙයි” යනු යි.
මේ පළමු අවස්ථාවෙහි ඇතුල් වන හුස්මත් පිට වන හුස්මත් වැදෙන තැන විමසා දැන එහි සිත පිහිටු වන්නට පුරුදු විය යුතුයි. නාසය දික් අය ගේ ඇතුල් වන හුස්ම පළමුවෙන් ම හැපෙන්නේ නාශාග්‍රහයේය. (නාසයේ අගය) හුස්ම පිට වීමේදී අන්තිමට ම හැපෙන්නේ ද නායිකාවේ අගය.
නාසය හුස්ම කොට අය ගේ හුස්ම ඇතුල්වීමේ දී මුලින්ම හැපෙන්නේත් හුස්ම පිට කිරීමේදී අන්තිමට හැපෙන්නේ උඩු තොලෙහිය. යෝගාවචරයා තමා ගේ හුස්ම ඇතුල්වීමේදීත් පිට වීමේදීත් එය හැපෙන තැන විමසා දැන එය අරමුණු කළ යුතු. හුස්ම ගැනීමට වත් පිට කිරීමට වත් උත්සාහ නොකළ යුතුයි. ස්වභාවයෙන්ම (ඉබේම) සිදුවන හුස්ම ඇතුල්වීමටත් පිටවීමටත් එසේ සිදුවන්නට ඉඩ දී තමා ඇසි පියා ගෙන ඒ හුස්ම ඇතුල් වීමේ දී මුලින් ම හැපෙන තැනත් පිටවන විට අන්තිමට ම හැපෙන තැනත් සිතින් සලකා ගත යුතුය.
එහි සිත පිහිටුවා එළඹැ සිටි සිහියෙන් යුතුව සිතින් එය සැලකිය යුතුය. සිතට නොදැනී කිසිම හුස්මක් ඇතුල් වන්නට හෝ පිටවන්නට නො හැකි වනුවට නිතර ම එළැඹ සිටි සිහියෙන් මනැසින් හුස්ම දෙස බලා ගත් වනම හින්ද යුතුය. අන් කිසිම අතකට සිත නොයවා හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවාගෙන ඉන්ද යුතුය. මුල දි ඉඳ හිට අන් අතකට හිත යන්නට පුළුවන. හෙවත් හුස්ම හැපෙන තැන හැර වෙන අරමුණකට ඇදෙන්නට පුළුවන. එසේ වන්නේ එළැඹ සිටි සිහිය නැති වීමෙනි. සිතේ එකඟ බව දුබල හෙයිනි. සිහිය උපදවා ගෙන යළිත් සිත හුස්ම හැපෙන තන්හි ම පිහිටුවිය යුතුය. සමහර කෙනෙකුට පැය බාගයෙක දී ද තව කෙනෙකුට පැයක දී ද තව කෙනෙකුට පැය කීපයකින් ද හුස්ම හැපෙන තන්හි ම කැමති තාක් කල් සිත තරයේ පිහිටුවා තැබීමට හැකියාව ඇති වේ.

පෙර අත්බව්හි සමාධි වඩා පුරුදු කෙනෙකුට විනාඩි හත අටකින් වූව ද සිත හුස්ම වැදෙන තන්හි ස්ථිර ලෙස පිහිටුවා තැබීමේ හැකියාව ඇත. පෙරැ ළඟ අත්බැවෙක භාවනාවක් පුරුදු නොකළ අයට සිත වික්ෂිප්ත නොවන සේ ටික වෙලාවක් එක් අරමුණෙක පිහිටුවා තැබීමට මාස ගණනක් වූව ද ගත විය හැක. හුස්ම හැපෙන තැන සිත පැයක් හමාරක් නො සැලී පිහිටා සිටීම හරි ගිය පසු මේ භාවනාවේ ඊළඟ ක්රියාමාර්ගය ඇරැඹිය යුතුය.

ගණනාව
මීළඟට කළ යුත්තේ හුස්ම වාර ගණන් කිරීමයි. හුස්ම ගන්නා වාර පමණක් හෝ හුස්ම පිටකරන වාර පමණක් ගණන් කළ යුතුයි. ඒ දෙකම මිශ්ර නොකළ යුතුයි. එය කරනුයේ මෙසේයි.

හුස්ම ඇතුල් වන වාර ගණිනු කැමැති නම් ඇතුල්වන හුස්ම නාසය අග හෝ උඩු තොලෙහි හැපුණු විට “එක” යි සිතින් ගිණිය යුතුය. ඊළඟ වාරයේ එතැන හුස්ම හැපෙන තුරු ම “එකයි එකයි එකයි” සිතින් ගණිමින් එතැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතුය. එතැනින් වෙන අතකට සිත නො යන ලෙසට එළැඹි සිටි සිහියෙන් යුක්ත විය යුතුය. ඊළඟට එතැන හුස්ම හැපුණු විට “දෙකයි දෙකයි” (සිතින්) කිය යුතුයි. තුන් වන වර හුස්ම එහි හැපෙන තුරු ම මෙය කළ යුතුය. මෙසේ පස් වන වාරය තෙක් හුස්ම හැපෙන වාර ගණන් කළ යුතුය. මේ පළමු වටයයි.

ඊළඟට නැවතත් “එකයි එකයි” සිතින් කියමින් හවන හුස්ම වාරය තෙක් ගිණිය යුතු යි. මේ දෙවෙනි වටය යි. නැවතත් එකයි කියා ගිණිම පටන් ගෙන හත්වන වාරය තෙක් ගිණිය යුතුයි. මේ තුන් වන වටය යි. යළිත් “එකයි එකයි” යන්නෙන් ගිණිම පටන් ගෙන අට වන වාරය තෙක් ම යෑ යුතුය. මේ සතර වන වටය යි. නැවත එකේ සිට ගිණිම පටන්ගෙන නව වන වාරය තෙක් යෑ යුතු. මේ පස්වන වටය යි. නැවතත් එකෙන් පටන් ගෙන දසවන වාරය තෙක් ගිණිය යුතු මේ හවන වටයයි.

භවන වටය සම්පූර්ණ වූ විට යළිත් මුලට යෑ යුතු යි. පළමු සේම “එකයි” එකයි ගණිමින් වාර පහක් සම්පූර්ණ කළ යුතුයි. ඒ පළමු වටයයි. ඊළඟ වට සයක් ගිණිය යුතුය. මේ නයින් වට සයෙන් සය සපුරමින් හැකිතාක් වේලා හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතුය. මේ අන් අතේ යෑ නොදී සිත එක් අරමුණෙක ම පිහිටා සිටීම පුරුදු කරවනා උපායෙකි. මේ ගිණිමේදී ඉඳ හිට සිත අන් අතෙක ගියොත් ඒ තව ම සිතේ සමාධිය හොඳට වැඩී නැති බවට ලකුණෙකි. ගිණීමෙහි යෙදී ඉන්නා තාක් හුස්ම හැපෙන තැන ම නොසැලී සිටී නම් එයින් පසු ගිණීම නතර කොට අනුබන්ධනාව පටන්ගත යුතුයි.

අනුබන්ධනා යනු හුස්ම ගැනීමේදීත් පිට කිරීමේදීත් ගණන් කිරීමක් නැතිව, හුස්ම හැපෙන තැන සිත පිහිටුවා එළැඹ සිටි සිහියෙන් යුක්ත වීමයි. මේ අවස්ථාවෙහි හුස්ම අනුව නාසිකාවෙන් ඇතුළට හෝ නාසිකාවෙන් පිටතට හෝ සිත නො යැවිය යුතුයි. හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ඇතුල් වන පිටවන හුස්ම ගැන සෝදිසිමත් විය යුතුය. හුස්ම හැපෙන තැන එය වැදීම ද, ඊළඟ අවස්ථාව ද, එතැනින් පිට වීම දැයි එහි මුල මැද අග පැහැදිලි ව දැනෙන්නට වෙයි. සිතැ එකඟ බවෙත් එළැඹ සිටි සිහියෙන් දියුණුව නිසා ඒ දැනීම ඇති වෙයි. වාර ගිණීමේ සිට හුස්මෙහි ඕලාරික බව අඩු වෙවී ගොස් අන්තිමේදී හුස්ම වැටීම නො දැනෙන තරමට සියුම් වේ. හිත කය දෙකේ ම හෑල්ලු බවෙක් දැනෙන්ට වෙයි. සිරුර ඉහළ නැගෙන්නා සේ හෝ අහසේ පාවෙන්නා සේ දැනෙන්නට වෙයි.

Comments